A tense situation has arisen due to the auction of former Minister Daya Gamage's lands; both sides have lodged complaints with the police

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන දයා ගමගේ මහතාට හිමිකම් කියන මූල්‍ය ආයතනයකට උකස් තැබූ ඉඩමක් වෙන්දේසි කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට බලපෑම් එල්ල වූ බවට මූල්‍ය ආයතනය විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන්, අදාළ වෙන්දේසිය නීති විරෝධී බව පවසමින් දයා ගමගේ මහතාද පොලිසියේ පිහිට පතා ඇත.



භාරගම පොලිස් බල ප්‍රදේශයට අයත් මාලිගාතැන්න, ගුරුදෙණිය ප්‍රදේශයේ පිහිටි අක්කර 19, රූඩ් 01, පර්චස් 34 කින් සමන්විත මෙම ඉඩම, ලබාගත් ණය මුදලක් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් ඊයේ (11) දින පෙරවරුවේදී අදාළ මූල්‍ය සමාගම විසින්

ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා තිබිණි.

වෙන්දේසිය පැවැත්වීමට නියමිතව තිබූ අවස්ථාවේදී, එය නීතියට පටහැනි ක්‍රියාවක් බව පවසමින් ඊට බාධා කිරීමක් සහ බලපෑම් කිරීමක් සිදු වූ බවට එම මූල්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු විසින් තලාතුඔය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

තමන්ට අයත් ඉඩම වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය නීති විරෝධී බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා විසින්ද මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියටම තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම නීතියේ පිහිට පතා තිබේ.